සිතා නිමකළ නොහැකි අසීමිත බුදුගුණ.

* බුද්ධ රත්නය, ධර්ම රත්නය හා සංඝ රත්නය යන මේ වස්තු තුන බෞද්ධයන්ගේ අත්‍යුත්තම ප්‍රතිෂ්ඨා තුනය. ඒ රත්න තුන තමාගේ උතුම් පිහිට ලෙස පිළිගන්නා තැනැත්තන් බෞද්ධ නම්වේ. සරණ යාම යැයි කියනුයේ ඒ පිළිගැනීමටය. රත්නත්‍රයේ එක ගුණයකුදු නොදැන නමින් පමණක් රත්නත්‍රය දැන සිටින බෞද්ධයා නමින් පමණක් බෞද්ධයෙකි. නියම බෞද්ධයකු වන්නට නම් තරමක්වත් රත්නත්‍රයේ ගුණ දැන රත්නත්‍රය හැඳින ගත යුතුය. පෘථග්ජන පුද්ගලයකුට තබා ආර්ය පුද්ගලයකුටද සම්පූර්ණයෙන් තෙරුවන් ගුණ දත නොහැකිය. එහෙත් සකල බෞද්ධයන් විසින්ම තරමකින්වත් තෙරුවන් ගුණ දැන සිටිය යුතුය. තෙරුවන් ගුණ දන්නා පමණට ඒ ඒ පුද්ගලයාගේ බෞද්ධත්වය උසස්ය.

* බුද්ධ ගුණය අනන්තය. සාමාන්‍ය ජනයාට තබා රහතුන්ටද අවිෂය ය. රහතුන් විසින්ද දත නොහෙන බොහෝ බුදු ගුණ ඇත්තේය. දත් කෙනෙකුට වුවද බුදුගුණ කියා නිම කිරීමට කාලයක් නැත්තේය.

"බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං කප්පම්පි චෙ අඤ්ඤමභාසමානෝ ඛීයේථ කප්පෝ චිරදීඝමන්තරේ වණ්ණෝ න ඛීයේථ තථාගතස්ස.”

• යනුවෙන් බුදුන් වහන්සේ විසින් අනිකක් නොවදාරමින් කල්පය මුළුල්ලෙහි රෑ දවල් දෙක්හි නොනවත්වා බුදුගුණම වදාළේද දීර්ඝ කාලයකින් කල්පය ගෙවී යන නමුත් බුදුගුණ කීම අවසන් නොවන බව දක්වා තිබේ. අනන්ත වූ බුද්ධ ගුණස්කන්ධයෙහි සාමාන්‍ය ජනයාට දත හැකි බුදු ගුණ ඇත්තේ ස්වල්පයෙකි. එබැවින් සාමාන්‍ය ජනයාගෙන් බුදුගුණ දන්නවුන් දන්නේද ඒවායන් ඉතා ස්වල්පයෙකි.

* සකල ලෞකික මහජනයාගේම බුදුගුණ දැනීමට වඩා මහත්වූ බුදුගුණ එක් සෝවාන් පුද්ගලයකුට ඇතයයි ද, සෝවාන් පුද්ගලයන් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් සකෘදාගාමී පුද්ගලයකුට ඇතයයි ද, සකෘදාගාමීන් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අනාගාමී පුද්ගලයකුට ඇතයයි ද, අනාගාමීන් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අර්හත් පුද්ගලයකුට ඇතයයි ද, සාමාන්‍ය රහතන්ගේ බුදුගුණ දැනුමට මහත් දැනුමක් අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යිද, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින්ද මහා කාශ්‍යප, අනුරුද්ධ, මහා කච්චාන හා මහා කොට්ඨිත යන මහ තෙරුන් වහන්සේලාට බුදුගුණ පිළිබඳ අතිරේක දැනුමක් ඇතයයි ද, ඒ සතර මහතෙරුන්ගේ බුදුගුණ දැනුමට වැඩි දැනුමක් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, උන්වහන්සේලා අතුරෙන් ද සැරියුත් මහ තෙරුන් වහන්සේට මහත්වූ බුදුගුණ දැනුමක් ඇතයයි ද, සැරියුත් මහා තෙරුන් වහන්සේට වැඩි බුදුගුණ දැනුමක් පසේ බුදුන්වහන්සේ කෙනෙකුන්ට ඇතයිද, ඉදින් සක්වළ පුරා සිවුරු කොණින් සිවුරු කොණ ගැටෙන සේ පසේ බුදුවරයන් වැඩ හිඳ බුදුගුණ සිතන අවස්ථාවක් වී නම් ඒ අවස්ථාවෙහි සක්වළ පුරා වැඩ ඉන්නා සියලු පසේ බුදුවරුන්ගේ බුද්ධ ගුණ ඥාණයට මහත්වූ බුද්ධ ගුණ ඥාණයක් එක් ලොවුතුරා බුදුකෙනෙකුන්ට ඇතැයිද සම්පසාදනීය සූත්‍ර අටුවාවෙහි දක්වා ඇත්තේය.

* නුවණැතියන්ගෙන් අගතැන්පත් සැරියුත් මහා තෙරුන් වහන්සේට වුවද හරියට පෙනෙන බුදුගුණ ඇත්තේ ස්වල්පයකි. උන්වහන්සේ බුදුගුණ අනන්තය අපරිමාණය යි පිළිගන්නේද තමන් වහන්සේට පෙනෙන දැනෙන බුදුගුණ අනුව, නොපෙනෙන නොදැනෙන මහා ගුණස්කන්ධය අනුමානයෙන් සිතා ගැනීමෙනි.

* එක් එක් පසකින් නවයොදුන බැගින් අටළොස් යොදුන් බිම් පෙදෙසක් යට කොට ගලා යන චන්ද්‍රභාගා නම් ගංගාවෙන් ඉදිකටු මලකින් ගත් ජලය ඉතා අල්ප වන්නාක් මෙන්ද, නොගත් ජලය ම බොහෝ වන්නාක් මෙන් ද, මහා පොළොවෙන් ඇඟිල්ලට පස් ටිකක් ගත් කල්හි ඇඟිල්ලට ආ පස අත්‍යල්ප වන්නාක් මෙන් ද, පොළොවේ පස් බොහෝ වන්නාක් මෙන් ද, මහ සයුරට ඇඟිල්ලක් දිගු කළ කල්හි ඇඟිල්ල කෙළින් ඇති ජලය අත්‍යල්ප වන්නාක් මෙන් ද, ඉතිරි ජලයම බොහෝ වන්නාක් මෙන් ද, අහසට ඇඟිල්ලක් දිගුකළ කල්හි ඇඟිල්ලට කෙළින් සිටිනා අහස අත්‍යල්ප වන්නාක් මෙන් ද, ඉතිරි අහසම බොහෝ වන්නාක් මෙන් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට වුවද හරියට පෙනෙන දැනෙන බුදුගුණ අත්‍යල්ප බව ද, හරියට නොපෙනෙන නොදැනෙන බුදුගුණම බොහෝ බව ද, සම්පසාදනීය සුත්තට්ඨ කථාවෙහිම දක්වා තිබේ.

* සාමාන්‍ය ලෝකයාහට අනන්ත බුද්ධගුණස්කන්ධය පිළිබඳ ව එක්තරා ප්‍රමාණයකට දැනුමක් ඇති කර ගත හැකි වනු පිණිස තථාගතයන් වහන්සේ විසින් බුද්ධගුණයන් නව කොටසකට බෙදා පද නවයකට සකල බුද්ධ ගුණස්කන්ධය ඇතුළු කොට බුදුගුණ පාඨයක් වදාරා ඇත්තේ ය. එය "ඉතිපිසෝ..." ගාථා පාඨයයි.

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමිගේ "සූ විසි මහා ගුණය" කෘතිය ඇසුරෙනි.

මූලාශ්‍ර :- https://pitaka.lk/books/suvisi-gunaya/

තෙරුවන් සරණයි..!!

Comments